ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන් වේ.