සංඛ්‍යාත්මක ලෙස බැලූ විට දැනටමත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්ෂ හැත්තෑවකට වඩා තිබෙන බවත් දේශපාලනික වශයෙන් බැලුවහොත් ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙන බවත් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

පක්ෂවලට ලියැවී නැති ලක්ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් මෙන්ම නව ඡන්ද ලක්ෂ ‍දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවද දිසානායක මහතා පෙන්වා දෙයි.

මෙවර තිබෙන ලක්ෂ එකසිය හැත්තෑවක ඡන්දවලින් අනෙක් පක්ෂවලට ලියැවී තිබෙන්නේ ලක්ෂ තිහ, හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක් බව ඔහු පවසයි.

එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“පක්ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ලක්ෂ හැටනවයක ඡන්දවලින් ලක්ෂ පනහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවට ම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්ෂ පනස් පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නෙවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියෙකු ගොඩනැගෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේ ම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා.

ඔහුට ලබා දුන් ඡන්ද ලක්ෂ පනස්පහෙන් ලක්ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්ෂ ඡන්ද නෙවෙයි. එහෙම ගත්තා ම පක්ෂවලට ලියැවී නැති ලක්ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේ ම අලුත් ඡන්ද ලක්ෂ ‍දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්ෂ එකසිය හැත්තෑවක ඡන්දවලින් පක්ෂවලට ලියැවී තිබෙන්නේ ලක්ෂ තිහ, හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්ෂ එකසිය තිහක් පමණ පක්ෂවලට නොලියවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂනය කර ගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන් ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා. ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා.

මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි.

උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙලකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පනස් එක ඉක්මවිය හැකිය. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.” බවයි.