ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති හෙයින් විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය පවතින රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන් අපේක්ෂා කරන සතුට විනෝදය මෙන්ම දැනුම නිදහස්ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම අප කාගේත් වගකීමක් වනු ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මැද පෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කිරීමට නියමිතව ඇ​ත.

මේ මුලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදාවනු ඇත.

සංචාරක හෝටල් හිමිකරුවන්, මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයන්, එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතුව සිටින සියලුම පුද්ගලයින් මේ වන විටත් කරගෙන යනු ලබන කාර්යභාරය ඉතා අගය කරනු ලබන අතර ඉදිරියේදී සංචාරකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගනිමින් ක්‍රියා කරනු ඇති බවට පොලිසිය අපේක්ෂා කරයි.

පොලීසිය පවසන්නේ, ඕනෑම අවස්ථාවක ඔවුන්ට අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමෙන් කටයුතු කළ හැකි අතර ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථානයන් වෙත ලබා දී තිබෙන බවයි.

බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම යම් යම් සේවකයන්ගෙන්ද ඇති විය හැකි කරදර හිරිහැර පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලිසිය නව වැඩ පිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේදී ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.