සංවහන වැසි යොදාගනිමින් මහ කන්නයේ වී වගාවේ බිම් සැකසීම ආරම්භ කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී තිබේ.

එළැඹෙන මහ කන්නයේ ඇළ වේලි සුද්ද කිරීම, නියරවල් එළි පෙහෙළි කිරීම හා සංවහන වැසි යොදා ගනිමින් මූලික බිම් සැකසීමේ කටයුතු සිදුකරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

කාලගුණ අනාවැකි අනුව මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් ලැබීමට හැකියාව පවතී.

එහෙත් ලබන වසරේ ජනවාරි සිට නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් හැකි තරම් ජලය කළමනාකරණය කර ගැනීම සඳහා එම පියවර අනුගමනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මේ අතර වියලි කාලගුණයත් සමග යළ කන්නයේ කුඹුරු අක්කර 59,073 ක් මේ වනවිට හානියට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා තිබේ.