මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඊට අදාළව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද (ජූලි 19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කියවා ඇත.

එම අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා තිබේ.

පසුව එම මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමට විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වී ඇත.

ඒ අනුව, විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, පළමු වාරිකය අද දිනයේ ගෙවන බව ය.

2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වන දා අතර කාල සීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.