මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවට අදාළව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළිනොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාදිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා ඇත.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාළව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට සම්බන්ධ ලේඛන සහ, මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවක් පවතින බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට දැනුම් දී තිබේ.

ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාළ රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව නඩුව ඉලක්ක කරගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ.

මේ නිසා මෙම ලේඛන පිළිනොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙසද හෙතෙම ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු සළකා බලා තීරණයක් ලබාදෙන බවද අධිකරණය ප්‍රකාශ කර ඇත.

ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමක් මගින් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් මතුවන බවද නීති විශාරදයෝ පෙන්වාදෙති.