කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැති සමගි ජනබලවේගයේ තරුණ සමුළුවට තරුණයින් ඒකරාශි කළේ ඉතා අසීරුවෙන් බවත් තරුණ සමුළුවට මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයෙන් පැමිණි තරුණයින්ට බත් පැකට් ලබාදුන් බවටත් රාජිත සේනාරත්න සිදුකරන අසත්‍ය ප්‍රකාශ තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂිම් පවසයි.

අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මේ බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

‘‘රාජිත සේනාරත්න මහතා වෛරයකින් වගේ දේශපාලන සාකච්ඡා කිහිපයක්ම පවත්වලා තිබුණා. පසුගිය දිනයක මාගේ නිවසේ තිබුණ රැස්වීමක් විකෘති කරලා යම් යම් අදහස් වගයක් පළ කරලා තිබුණා. ඒ ප්‍රකාශය මම නිවැරදි කරන්න කටයුතු කළේ නෑ. පසුගිය මාසයේ මගේ නිවසේදී සමගි ජනබලවේග මන්ත්‍රීවරු කණ්ඩායමක් මුණ ගැහුණා. ඒ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය කරන්නේ කෙසේද , සමගි ජනබලවේගයට තිබෙන අභියෝග කෙසේද සමගි ජනබලවේගයේ තිබෙන අඩුපාඩු පිලිබඳව විවෘතව කතා කරලා.

ඒ වගේම රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරලා තිබුණා කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබුණ තරුණ සමුළුවට
තරුණයන්ව ගෙනාවේ බත් පැකට් දිලා බොහොම අමාරුවෙන් තරුණයන්ව සමුළුවට එකතු කරගත්තේ කියලා. තරුණයින් බලෙන් තරුණ සමුළුවට ගෙනාවා කියලා රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරලා තිබුණා. මෙය සම්පුර්ණයෙන් වැරදි ප්‍රකාශයක්. මෙවැනි ප්‍රකාශ කරලා රටේ තරුණ ප්‍රජාවට අපහස කරන්න එපා කියලා රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටිනවා. එය සාධාරණ කටයුත්තක් නෙවෙයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබුණ තරුණ සමුළුවට තරුණයන්ව ඒකරාශි කරන්න මාසයක පමණ කාලයක් මහන්සි වුණා. ගම්වලට ගිහිල්ලා තරුණයන් සමඟ කතාබහ කරලා විවාද කරලා එක මතයකට පැමිණි පසු තමයි ඒ තරුණයන්ව තරුණ සමුළුවට සහභාගි කරවන්න කටයුතු කළේ. ඒ තරුණයන් තරුණ සමුළුවට එන්නේ බත් පැකට් එකක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔවුන්ගේ හෘද සාක්ෂිය මත සමගි ජනබලවේගයේ මතවාදය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන තරුණ සමුළුවට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාගේ පණිවිඩය කුමක්ද කියන එක දැනගන්න ගන්නයි ආවේ.

මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයෙන් සමගි තරුණ සමුළුවට තරුණයන් ගෙනාවේ කිසිදු බලපෑමකින් තොරවයි. කන්න බොන්න දීලා නෙවෙයි ඒ තරුණයන්ව අපි ගෙනාවේ. බත් පැකට් එකට තරුණයින් රැස්වීමට එනවා කියලා රාජිත සේනාරත්න මහතා කියලා තිබෙනවානම් එය වැරදියි. වර්තමාන තරුණ ප්‍රජාව එවැනි පහත් තත්ත්වයකට වැටිලා නෑ. වර්තමාන තරුණ ප්‍රජාව උගත් සහ බුද්ධිමත්. රාජිත සේනාරත්න මහතාගේ මේ ප්‍රකාශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණයින්ගේ හිත් රිදවීමක් සිදුවෙලා තිබෙනවානම් ඒ සදහා මම සමාව ඉල්ලනවා. තරුණ සමුළුවට මාවනැල්ලෙන් පැමිණ තරුණයින්ට බත් පැකට් එකක් දුන්න බව ඹප්පු කළොත් මම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙනවා.‘‘