සුවහසක් බොලිවුඩ් රසික හදවත තුළ කිසිදා නොමැකෙන පරිදි ප්‍රේමණීය මතක සටහන් ඉතිරි කළ Kuch Kuch Hota Hai (1998), Kabhi Kushi Kabhi Gham (2001), Kabhi Alvida Naa Kehna(2006), My name is Khan(2010), Student of The Year(2012), Ae Dil Hai Mushkil (2016) වැනි සොඳුරු සිනමාපටවල නිමැවුම්කරුවා වූ, ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නවතම චිත්‍රපටය වන Rockey Aur Rani Ki Prem Kahani එළඹෙන ජුලි 28 දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත ව තිබෙනවා. බොලිවුඩයේ අති දක්ෂ, සම්මානනීය සහ ජනප්‍රිය තරු යුවළක් වන රන්වීර් සිං සහ ආලියා භාත් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය හිරූ යශ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මෙහෙතා ගේ නිෂ්පාදනයක්.

බොලිවුඩයේ ප්‍රේමණීය චිත්‍රපට කලාවේ රජු ලෙස හැඳින්වූ ප්‍රවීණ අධ්‍යක්ෂ යශ් චොප්රාගේ අභාවයෙන් පසු එම කිරුළට ඉහළම සුදුසුකම තිබූ පුද්ගලයා ලෙස සැලකුණේ ද කරන්. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දරුවන්ට සහ පෞද්ගලික සම්බන්ධතා මත (Nepotism) ක්ෂේත්‍රයේ අවස්ථාව ලබා දීමත්, එවැනි සම්බන්ධතා නොමැති දක්ෂ නවක ශිල්පීන්ගේ අවස්ථා අහිමි කිරීමත් සම්බන්ධයෙන් බරපතළ ලෙස චෝදනාවට ලක් ව සිටි කරන් ජොහාර්, රසිකයින්ගේ මෙන්ම ක්ෂේත්‍රය තුළ ශිල්පීන්ගෙන් ද දැඩි විවේචනයට ලක්වුණා. එමෙන්ම අභිරහස් ලෙස මිය ගිය ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ් පුත් ගේ මරණය සම්බන්ධයෙන්ද ඔහුවෙත චෝදනා එල්ල වූයේ නිතැතින්. ඔහු විසින් මෙහෙයවන Coffee with Karan වැඩසටහනේදී සහ සම්මාන උළෙලකදී සුෂාන්ත් සිං රාජ්පුත් අපහාසයට ලක්වන අයුරින් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේ කරන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් ගොඩනගමින්. ඉන් පසුව ඔහුගේ ජීවිතයේ අතිශය පෞද්ගලික සිදු වීම් ද ඈඳා ගනිමින් සමාජ මාධ්‍ය තුළත් ඉන් බාහිරවත් සිදු කෙරුණු බරපතල විවේචනයන්ට මුහුණ දීමට ඔහුට සිදුවුණා. මෙවැනි හේතු ගණනාවක් නිසා Ae Dil Hai Mushkil චිත්‍රපටයෙන් පසු සිනමා කටයුතුවලින් ඉවත්වී සිටි කරන්, Rockey Aur Rani Ki Prem Kahani චිත්‍රපටයෙන් නැවත සිනමාවට පිවිසෙන්නේ වසර හතක දීර්ඝ නිහැඬියාවකින් පසුවයි.

RARKPK චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ජුලි 4 නිකුත්කෙරුණු අතර, මෙම චිත්‍රපටය 1999 තිරගත වූ දමිළ චිත්‍රපටයක් වූ Jodi හි නැවත නිර්මාණයක් බවට කටකතා පැතිරුණු නමුත් නිෂ්පාදකයින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 25දා මුම්බායි හිදී පැවති අතර, යම් දෙබස්වල අඩංගු වූ අසභ්‍ය වචන සහ විවිධ ගැටළුකාරී තත්වයන් හේතුවෙන් මහජන ප්‍රදර්ශනය සඳහා චිත්‍රපටයේ කුඩා කොටස් කිහිපයක් ඉවත් කරන ලෙස මධ්‍යම චිත්‍රපට පාලක මණ්ඩලය (CBFC) විසින් දන්වා තිබූ බව බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කර තිබුණා. විශේෂයෙන් බටහිර බෙංගාලයේ ප්‍රධාන ඇමති මම්තා බැනර්ජිගේ දේශපාලන සටන් පාඨය වන “Kehla Bole” (Game on) යන්න එලෙස ඉවත් කරන ලද කොටස් අතර වනවා. චිත්‍රපටයේ නව ධාවන කාලය පැය 2ක් සහ මිනිත්තු 48ක් වන අතර, අදාල සංස්කරණයන්ගෙන් සිනමා පටයට කිසිඳු හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදු කර ඇත්තේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන ප්‍රීතම් විසින් වන අතර, සියළුම ගීත අමිතාබ් භට්ටාචාර්ය විසින් රචනා කර තිබෙනවා. චිත්‍රපටයේ පළමු ගීතය වන Tum Kya Mile ගීතය චිත්‍රපටය නිකුත් කිරීමට මසකට පෙර එනම් ජුනි 28 දින නිකුත් කර තිබූ අතර, කාලයක් තිස්සේ බොලිවුඩයට අඩුවක් ව පැවති කරන් ජොහාර්ගේ සිනමාත්මක ප්‍රේමණීය මායාව සමඟ මුසු වූ අරිජිත් සිංගේ සහ ශ්‍රෙයා ඝෝෂාල්ගේ මනෝහර හඬ මුසුව රසිකයින් ආදරයෙන් වැළඳගෙන තිබුණේ මිලියන 50ක් ඉක්මවූ යූ ටියුබ් නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් කරමින්. ඊට අමතරව තවත් ගීත 3ක් චිත්‍රපටයේ ඇතුළත් වන අතර, එම ගීත සියල්ල ද මේ වන විට නිකුත් කර තිබෙනවා

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රන්වීර් සිං සහ ආලියා භාත්ට අමතර ව, ධර්මේන්ද්‍ර ඩියෝල්, ජයා බච්චන් සහ ශබානා ආස්මි යන හින්දි සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ අමතක නොවන රංගනයක්  කලකට පසු රසිකයින්ට දැක බලාගන්නට හැකි වනු ඇති. එමෙන්ම රන්වීර් සිං සහ ආලියා භාත් තිර පෙම්වතුන් ලෙස මුණගැසෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර ඔවුන් රඟපෑ Gully Boy හි රංගනය සඳහා ෆිල්ම් ෆෙයාර් හි හොඳම නළුවා සහ හොඳම නිළිය යන සම්මාන ද්විත්වයම හිමි කර ගැනීමට රන්වීර් සහ ආලියා සමත් වුණා. එපමණක් නොවෙයි, මෙම චිත්‍රපටය සඳහා  වරුන් ධවාන්, සාරා අලි ඛාන්, ජාන්වී කපූර් සහ අනන්‍යා පාණ්ඩේ ආරාධිත රංගනයෙන් දායක වන බව ද වාර්තා වී තිබෙනවා.

මුම්බාය, නව දිල්ලිය, ජම්මු හා කාශ්මීර ප්‍රදේශවල මෙන්ම රුසියාවේද රූගත කිරීම් සිදු කර ඇති මෙහි නිශ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 178ක් වන බවයි වාර්තා වන්නේ. නමුත්, චිත්‍රපටයේ වියදමින් 90%ක් පමණ මේවන විටත් නිශ්පාදකයින් උපයාගෙන අවසන් වීම විශේෂ කරුණක් වනවා. චිත්‍රපටයේ ඩිජිටල් විකාශන අයිතිය (Digital rights) ඉන්දියානු රුපියල් කෝටි 80ක මුදලකට Amazon Prime විසින් ලබාගෙන ඇති අතර,  Colors සමාගම විසින් කෝටි 50කට සැටලයිට් විකාශන අයිතිය (Satellite rights) ලබා ගෙන තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 30ක මුදලක් වැය කරමින් චිත්‍රපටයේ සංගීත නිර්මාණ අයිතිය (Musical rights) ලබා ගෙන තිබුණේ SaReGaMa සමාගම විසින්. විනෝදාත්මක- ‍ප්‍රේම (Romance-Comedy) ශානරයේ චිත්‍රපටයක් ලෙස නම්කර ඇති Rockey Aur Rani Ki Prem Kahani කලකට පසු රිදී තිරයේ දිග හැරෙන, පවුලේ සැමට නැරඹිය හැකි අති සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවටයි වන චිත්‍රපට විචාරකයින් අනාවැකි පළකර තිබෙන්නේ.

උමේෂ් ද සිල්වා