ඉල්ලීමක් ලැබුණහොත් මියගිය සිය සැමියාගේ දේශපාලන හිඩැස පිරවීම සඳහා දේශපාලන ගමනක් ආරම්භ කිරීම පිළිබඳව සළකා බලන බව අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිඳ පවසා ඇත.

පසුගිය 25 වැනිදා සිදුවූ මාරක අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ ආරක්‍ෂක නිලධාරියාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් බැලීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතීඥ චමරි ප්‍රියංකා මෙම අදහස් පළකර ඇති බවයි වාර්තා වන්නේ.

”මගේ සැමියා පුත්තලම දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. ඔහුගෙන් පිහිට පැතූ කිසිවෙක් හිස් අතින් යවා නැහැ. ඔහු දැන් මෙහි නැතැයි කියා මටවත් මගේ දරුවන්ටවත් ඔළුව හංගගන්න බැහැ. ඒක හීනයක් වගේ දැනෙනවා.”
”කොහොම උණත්, පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත්, රටේ ජනතාවත්, පක්ෂ නායකත්වයත් මගෙන් ඉල්ලීමක් කරනවා නම් මගේ ස්වාමිපුරුෂයා නැති රික්තය පුරවා ඔහු වෙනුවට එම ධුරය භාරගැනීම ගැන සලකා බැලිය හැකියි. මගේ දරුවෝ හතර දෙනාගේ අනාගතය ගැන මට දැන් ලොකු වගකීමක් තියෙනවා.” යනුවෙන් ඇය පවසා ඇත.

නමුත් ඇතැම් ජනමාධ්‍ය වෙත සිය සැමියාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර ඔහුගේ දේශපාලන කටයුතු කළමණාකරණය කළද, දේශපාලනයට අවතීර්ණ වීමට තමාට අදහසක් නොතිබූ බව ඇය සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු බවත්, ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වූ පුද්ගලයකු බවත්, විවේචනවලට පිළිතුරු දෙමින් ඇය වැඩි දුරටත් පවසා ඇත.