විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට තායිලන්තයේ රජු අත්සන් කර තිබෙනවා.

ඒ සමග සමලිංගික කණ්ඩායම් සහ ඔවුන්ගේ විවාහ අයිතීන් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් වනවා.

මෙම පනත පසුගිය ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත්, එය නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා.

රජුගේ අනුමැතිය ලද පනත රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මක වනවා.

සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මෙම පියවර ඓතිහාසික ජයග්‍රහනයක් ලෙස අගය කර ඇති බව සඳහන්.

එය විවාහ සමානාත්මතාවය සඳහා වසර ගණනාවක් පුරා ගෙන ගිය උද්ඝෝෂනවල කූටප්‍රාප්තිය සනිටුහන් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එවැනි ආකල්ප දුර්ලභ කලාපයක තායිලන්තය, LGBTQ+ ප්‍රජාව සඳහා සාපේක්ෂ තෝතැන්නක් ලෙස සැලකෙනවා.