අද දින (14) අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යළි සක්‍රීය කරනු ලැබූ පොදුජන එක්සත් පෙරමු‍ණ වෙත ලංකා සමසමාජ පක්ෂයේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ සහ විමල් වීරවංශ නායකත්වය දුන් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් එක්ව ඇත.

පොදුජන එක්සත් පෙරමුණේ සහය මෙවර ජනාධිපතිවරණයේ​දි රනිල් වික්‍රමසිංහ වෙත හිමිව ඇත.

ප්‍රබල වාමාංශික නායකයෙක් ලෙස කටයුතු කළ ලසසප තිස්ස විතාරණ ජීවිත කාලයක් පුරා රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන එජාප කොන්සර්වේටිව් ධනේශ්වර ජාත්‍යන්තරයට එදිරිව දේශපාලනය කළ අයෙක් වේ. ඔහු ආසන්න දින දක්වා උත්තර ලංකා සභාගය සමග කටයුතු කළ අතර මේ වන විට පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව ඇත.

විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමේදී මුලින්ම එක් වූ අයෙක් වූ මොහොමඩ් මුසම්මිල් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙසද කටයුතු කරනු ලැබීය. විමල් වීරවංශ සමඟ කළ දේශපාලනය අතහැර මේ වන විට ඔහුද පොදුජන එක්සත් පෙරමුණ හරහා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සහය දැක්වීමට එක්ව ඇත.