ආණ්ඩුව විසින් ලබන ජුලි මස 30 වනදා වන විට ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබාදීම සිදු කළ යුතු බවත් එවැනි විසදුමක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වුව හොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡා වලට සහභාගි වන්නේ නැතැයි දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කර සිටිය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මන්ත්‍රීවරයා පවසා ඇත.

ලබන ජුලි මස 30 වනදා වන විට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවත් මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්  හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්  ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටිය බවද සානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
රෝගාතුව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු පොසොන් පෝය දින නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි සිය පක්ෂය අපෙක්ෂා කළද ඔහුව නිදහස් නොකළ බව කී සානක්‍යන් මන්ත්‍රීවරයා සිය සන්ධානය වසරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටින බවද එහෙත් සිය සන්ධානය ඉල්ලා සිටි මුලික ඉල්ලීම් වලටවත් මෙතෙක් විසදුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද පවසා ඇත.

මහවැලි අධිකාරියේ අත්තනෝමතික ක්‍රියාමාර්ග පිළිබදව සිය පක්ෂය කොතෙක් කොළඹදී පෙන්වා දුන්නද අලුතෙන් යාපනයේ ජේ නමින් මහවැලි කලාපයක් පිහිටුවීමට යෝජනා වී ඇති බවටද හෙතෙම චෝදනා කර තිබේ.

තවද අන්තර් කාලීන පළාත් පාලන සභා පිහිටුවීමටත් ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මේ යෝජනා කවරක් වුවත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් යැයිද මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

රාජිනි මෙන්ඩිස්