සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16) රාත්‍රීයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණි.

එතුමා මියයන විට 93 වැනි වියේ පසුවුණි.

1931 වසරේදී උපත ලද එතුමා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කලක් නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය 1950 දශකයේදී එතුමාගේ සංකල්පයකට අනුව බිහිකෙරුණු අතර පුරා දශක 06ක් මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් එම සංවිධානය ක්‍රියාකාරීව කටයුතු කර ඇත.

සර්වෝදය ව්‍යාපාරය ඔස්සේ සිදුකළ සේවාව වෙනුවෙන් ආරියරත්න මහතා දෙස් විදෙස් ඇගයීම් රැසකට පාත්‍රවුණි.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය අද පස්වරුවේ සිට ලබන 20 වනදා දක්වා මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිත අතර 20 වනදා දහවල් 12න් පසු කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතය.

20 වනදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.