පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබා දී තිබූ බව සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න පවසයි.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ ඊයේ (07) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර විජේරත්න මේ බව සඳහන් කර ඇති අතර පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, බෙදා හැරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව තිබෙන බව ඔහු එහිදි කරුණු පැහැදිලි කර ඇත.

තවද ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සුදුසුකම් පරීක්ෂා නොකර පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර ඇති බව පැවසූ ඔහු, මෙහිදී ඉල්ලා සිටියේ පසුගිය රජය සමයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචා සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

හිටපු ලේකම්වරයා නිකුත් කළ බලපත්‍රවලට අදාළව මහනුවර සහ මහව ප්‍රදේශවල මේ වනවිට ගබඩා ඉදිකෙරෙමින් පවතින බවත් නුසුදුසු පුද්ගලයන්ට මෙම බලපත්‍ර ලබා දී ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද ඊට අවස්ථාව ලබා නොදුන් බවත් සභාපතිවරයා පැවසුවා.

මෙම ගැටලුව මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලයේ රටේ පැවති බව පැවසු සුර්ය කුමාර එසේ ආරක්ෂක ලේකම්වරයාට හෝ රජයේ ඇමැතිවරයෙකුට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නම් තම බලපත්‍රය අහෝසි කිරීමට ඉඩ තිබූ බවද අවධාරණය කර ඇත.

වංචා හා දූෂණ පිටුදැකීමට උත්සහ කරමින් සිටින වත්මන් ජනාධිපතිවරයා යටතේ සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ ගැටලුවලට විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු තවදුරටත් පවසා ඇත.