රජය සතුව සහල් සහ වී සංචිත නොමැති නිසා සහල් මිල ඉහළ යාමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

එම නිසා පාරිභෝගිකයා  ආරක්ෂා කිරීමේ අරමුණෙන් සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිලිවෙලක් රජය මඟින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එහෙත්  මෙම වසර අවසන් වන තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟීන බව ද ඔහු පෙන්වා දී ඇත.

පවතින ඉදිරි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එළඹෙන මහ කන්නය සහ ඉන්පසු යල කන්නයේ වගා කටයුතු සිදු කිරීම පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට ද  කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

විශේෂයෙන් ම වර්තමානයේ පවතින කාලගුණික ‍වෙනස්කම් හේතුවෙන් ඉදිරි මහ කන්නයේ මහා පරිමාණයේ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කර ඇත.

ඇතැම් විට ගංවතුර තත්ත්වයක් දක්වා වුවත් මෙම තත්ත්වය වර්ධනය විය හැකි අතර, මීළඟ යල කන්නයේ නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් මෙම එල්නිනෝ ක්‍රියාවලියේ බලපෑම නිසා සිදු විය හැකිය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලැබෙන වර්ෂා ජලය උපරිම ලෙස කලමනාකරණය කර ගනිමින්, නිසි කලට ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවිජනතාව යොමු කළ යුතු යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා  සඳහන් කර තිබේ.

එම නිසා රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය රට තුළම සිදු කිරීම කළ යුතු අතර, ඒ සඳහා ගොවිජනතාව, පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා  පවසා ඇත.

එමෙන්ම එල්නිනෝ ක්‍රියාවලිය පිළිබඳව විධිමත් පරිදි ගොවිජනතාව හෝ නිලධාරීන් ද දැනුම්වත් වී නොමැති අතර, කාලගුණික වෙනස්කම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම මීට වඩා පුළුල් විය යුතු යැයි ද  අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.