පිරමීඩ යුගයේ පරිගනකය ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ස්ටෝන්හෙන්ජ් (Stonehenge) ස්මාරකයට බ්‍රිතාන්‍යයේ පාරිසරික විරෝධතාකරුවන් පිරිසක් විසින් තැඹිලි පැහැ තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඒ අනුව ප්‍රාග් ඓතිහාසික මෙගලිතික යුගයට අයත් මෙම ස්මාරකයට එම ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව සැක පිට පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මෙම තීන්ත කුඩු ප්‍රහාරය ජස්ට් ස්ටොප් ඔයිල් (Just Stop Oil) නැමති පාරිසරික කණ්ඩායමක් විසින් සිදු කර ඇති අතර ඔවුන් විසින් අදාළ සිදුවීමේ දර්ශන සහිත වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි .

දකුණු එංගලන්තයේ පිහිටා ඇති ස්ටෝන්හෙන්ජ් ස්මාරකය යුනෙස්කෝව විසින් ලෝක උරුමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එකක් වන අතර එය බ්‍රිතාන්‍යයේ ඉහළ ම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානවලින් එකකි.

මෙම ප්‍රහාරය එල්ල කර ඇති ජස්ට් ස්ටොප් ඔයිල් නැමති සංවිධානය, බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන කඩාකප්පල්කාරී පාරිසරික විරෝධතාකරුවන් පිරිසක් වන අතර ඔවුන්ගේ අරමුණ ලෙස පෙන්වා දෙන්නේ 2030 වසර වන විට බ්‍රිතාන්‍ය රජය තෙල්, ගෑස් සහ ගල් අඟුරු නිස්සාරණය කිරීම සහ දහනය කිරීම නතර කිරීම සඳහා පෙළඹවීමයි.

කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධියට පත්ව ඇති ඔවුන් ප්‍රධාන මාර්ග වසා දැමීම, සංස්කෘතික හා ක්‍රීඩා ඉසව්වලට බාධා කිරීම වැනි දෑ නිරන්තරව සිදු කරන අතර සුප්‍රකට චිත්‍ර ශිල්පී වින්ස්ටන් වැන්ජෝගේ චිත්‍රයකට සුප් ප්‍රහාරය එල්ල කිරීම වැනි සිදුවීම්වලින් ප්‍රසිද්ධියට පත්ව ඇත.