එළැඹෙන සැප්තැම්බර් 20 වන දා සිට සිනොපෙක් සමාගම සිය ඉන්ධන බෙදුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (අගෝ. 15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

අද උදෑසන වන විටත් එම සමාගම තම බෙදුම්කරුවන් 150න් 109 දෙනෙකු සමග ගිවුසුම්ගත වී ඇති බව දැනුම් දී තිබෙන බවත්, ඔවුන් සැප්තැම්බර් 20 වන දා වන විට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

අනෙකුත් සෙසු සමාගම් ද ඔක්තෝබර් හෝ නොවැම්බර් මස වන විට ඉන්ධන බෙදුම් කටයුතු ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

එමෙන්ම දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය මගින් නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමනවා ද නැතහොත් සම්පූර්ණයෙන් ම එම ක්‍රමවේදය ඉවත් කරනවා ද යන්න පිළිබඳව සැප්තැම්බර් මාසය වන විට දී
මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.