පක්ෂ දෙකඩ කරමින් දේශපාලනය ජාවාරමක් කරගත් පිරිසට දිට්ඨධම්මවේදනීය කර්මය අත්විදීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක පවසයි. අද (04) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී ගයන්​ත කරුණාතිලක මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

‘‘පහුගිය කාලයේ එකට එකතු වෙලා දේශපාලනය ජාවාරම් කරගෙන කටයුතු කළ පිරිස මේ වනවිට දෙකට බෙදිලා ගැටුම් ඇතිකරගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. පිරිසක් ජනපතිගේ කණ්ඩායම කියලා හදුන්වා ගන්නවා. තවත් පිරිසක් රාජපක්ෂලාගේ පොහොට්ටුවේ කණ්ඩායම කියලා හදුන්වා ගන්නවා. මෙය දෛවයේ සරදමක් ලෙස තමයි සමගි ජනබලවේගය දකින්නේ. බලය තිබෙන අවස්ථාවේ සැලුන් දොර විවෘත කරලා පක්ෂවල පිරිස තමන්ගේ පැත්තට අරගෙන පක්ෂ කඩපු පිරිසට අද වනවිට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දී තිබෙනවා.

වසර දෙකක කාලයක් පොහොට්ටුවේ සහාය ඇතිව ජනාධිපතිවරයා කටයුතු කළත් දේශපාලන වශයෙන් තමන්ගේ පක්ෂයේ හෝ තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගැනීමට ඔහුට අවස්ථාව ලැබුණේ නෑ. ඒ බව සෑම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. රටපුරා පොස්ටර් ගහලා තිබෙනවා ජනාධිපති රනිල් තමයි කියලා. ජනාධිපති රනිල් තමයි කියන පොස්ටරය යටින් ජනතාව ලියලා තියෙනවා 21 වැනිදා දක්වා පමණයි කියලා. දිනපතා දැවැන්ත මුදල් කන්දරාවක් යොදාගෙන විශාල පොස්ටර් ව්‍යාපාරයක් ආණ්ඩුව දියත් කරලා තිබෙනවා. බදු බරන් මිරිකි සිටින ජනතාව ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය දෙස හූල්ලමින් බලාගෙන සිටිනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ෆී වයිෆයි ලබාදෙනවා කිව්වා , සෑම පවුලකටම පුංචි කාරයක් ලබාදෙන්න කටයුතු කරනවා කිව්වා , එවැනි කතා කියපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ජනතාවට හාල් කිලෝ 20 ක් ලබාදෙන තත්ත්වයට පහළ බැසීම ගැන සමගි ජනබලවේගය කණගාටු වෙනවා.

තවත් පිරිසක් මාක්ස්වාදයේ , අධිරාජ්‍ය විරෝධයේ , ඉන්දියානු විරෝධයේ සිට කිසිදු ප්‍රතිපත්තියක් නැති හිස් අච්චාරුවක් බවට පත්වෙලා තිබෙනවා. එක් වතාවක් බොරු දේශප්‍රේමයට රැවටිලා බංකොලොත් වුණ රටක ජනතාව මෙවර බොරු සමාජවාදයට රැවටිලා රට ආපස්සට යාමට ඉඩ දෙයි කියලා සමගි ජනබලවේගය විශ්වාස කරන්නේ නෑ…” බවයි