2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 408ක් රැස් කරමින් ඇමෙරිකාවට ලකුණු 409 ඉලක්කයක් ලබා දුන්නේය. මෙය සිම්බාබ්වේ කණ්ඩායම එක්දින පිටියේ රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 408කි.

එහිදී නායක සීන් විලියම්ස් පන්දු 101කට මුහුණ දෙමින් අගනා ලකුණු 174ක් රැස් කළ අතර ඊට හතරේ පහර 21ක් සහ හයේ පහර 05ක් ඇතුළත් විය. මීට අමතරව ජොයිලෝඩ් ගම්බි ලකුණු 78ක් සහ සිකන්දර් රාසා ලකුණු 48ක් රැස් කළහ.