ජූලි මාසය අවසන් වන විට විවිධ විෂය ධාරා ඉදිරිපත් කරන සියලුම පාසල් එකට එක්කර ඒවායේ තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු එම අදහස් පළ කළේ සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන්ගේ උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඊයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ ආසන්න වශයෙන් ප්‍රධාන පෙළේ පාසල් 1500ක් එලෙස ඉදිරියේදී ජාලගත වනු ඇති බවත් දැනටමත් ආරම්භ කර ඇති කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට මෙම පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ය.

ඊට අමතරව ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ ස්මාර්ට් පුවරු සහ අන්තර්ජාල සම්පත් භාවිතයෙන් ඔවුන්ගේ දැනුම සහ කුසලතා යාවත්කාලීන කිරීම මෙයට ඇතුළත් බවයි.

අසනීප නිවාඩු ලබා ගැනීමේදී වෘත්තීය වගකීම් කළමනාකරණය කිරීම වැනි අභියෝගවලට මුහුණදීම සඳහා ගුරුවරුන් ද සන්නද්ධ විය යුතු බවත්, අසනීප නිවාඩු ලබාගැනීමට හැකියාවක් නොමැති දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේය.

මෙම සියලු ප්‍රයත්නයන් දරුවන්ගේ අපතේ යන කාලය ඉතිරි කර ඔවුන් නවීන ලෝකයට හඳුන්වාදීමේ අරමුණින් සිදුකරන බවයි ඇමැතිවරයා පවසන්නේ.

එමගින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාගැනීමට අඩිතාලම දමමින්, ඔවුන්ට වයස අවුරුදු 21 වන විට උපාධියක් ද, වයස අවුරුදු 23 වන විට පශ්චාත් උපාධියක් ද, වයස අවුරුදු 27 වන විට ආචාර්ය උපාධියක් ද සම්පූර්ණ කිරීමට හැකිවීම මෙහි අරමුණ මෙන්ම ඉදිරි දැක්මක් බව පැවසූ ඇමැතිවරයා, මෙම වගකීම ඉටුකිරීමට දායක වූ සැමට කෘතවේදීත්වය ද පළකළේය.