සිරියාවේ වසර පනස් හතරක් පැවති පවුල් පාලනය අවසන් වී තිබෙනවා. ඒ සිරියාවේ ඩැමැස්කස් අගනුවර බලය තහවුරු කර ගැනීමට කැරළි කරුවන් සමත් වීමත් සමඟ  ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළා යාමත් සමගයි.

මෙලෙස සිරියාවේ බලය අත්පත් කර ගැනීමට සමත් වූ කැරළිකාර කණ්ඩායම වන්නේ තුර්කියේද සහය ලබන හයාද් තරීර් අල් ෂාම් ( Haya’s Tahrir al-sham) කණ්ඩායමයි.

කැරළි කරුවන් බලය අල්ලා ගැනීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් සිරියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් ගාසි අල් ජලාලි පැවසුවේ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්මට සහය දීමට තමන් සූදානම් බවත් ජනතාව විසින් තෝරාගනු ලබන නායකයෙකු සමඟ කටයුතු කිරීමට  සූදානම් බවයි.
එමෙන්ම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බලය අල්ලාගත් කැරළි කණ්ඩායමේ නායකයා අබු මොහොමඩ් අල් ජලානි (Abu Muhammad Al Jawlani) ජනතාවට ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය දේපළ වළට හානි නොකරන ලෙසයි.
මේ සමඟම සිරියාවේ වසර පනස් හතරක් පුරා අසාද්වරුන් යටතේ පැවති පවුල් පාලනය අවසන් වෙනවා.

වර්ෂ 1970 නොවැම්බර් 13 සිරියාවේ බලය ලබා ගත් හෆීස් අල් අසාද්  2000 වසර වන තුරුම එරට පාලනය ගෙන ගිය අතර 2000 වර්ෂයේ සිට ඔහුගේ බාල පුත්‍රයා වන බෂාර් අල් අසාද් පාලනයට පත්වූ වූ අතර ඔහුගේ පාලනයට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ  වූයේ 2011 වර්ෂයේ අරාබි වසන්තය විරෝධතා ව්‍යාපරවල දිගුවක් ලෙසයි. ඒ අනුව ඊයේ දින (08) කැරළි කරුවන් බලය තහවුරු කරගන්නා තුරුම ඔහු බලයේ රැදී සිටියා.