වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් විසින් පෙරේදා (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ කතරගම පුදබිමේ සැදැහැවතෙකු විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදීය.


එම අවස්ථාවේදි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කෙරුණි. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් පවසා සිටියේ,

“අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්මවලට අයත් වෙන දෙවන පිංකම. ඇතැම් කූට ව්‍යාපාරිකයන් මුදල් ඉපයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑළි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරීම මහා අපරාධයක්. අට පිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අට පිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන මේ අටපිරිකරට මෙහෙ නිගා කිරීම දඬුවම් දිය යුතු බරපතළ වරදක්. මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද දවසේ මෙම වැටලීම සිදුකරලා තියෙනවා. සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව නිසි අවධානයෙන් පසු වෙන්න කියලා.”

කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වි ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමග කතරගම පොලීසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.