ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකු සිය ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

අදාළ අපේක්ෂකයන් වන්නේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ පාක්‍යසෙල්වම් ආරියනේදිරන් යන අය වන අතර මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

පනතට අනුව එවැනි වරදක් සඳහා දඬුවම රුපියල් 100,000ක දඩයකි.

ජනාධිපති අපේක්ෂකයන් සඳහා ප්‍රචාරක මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වු අතර මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයන් ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත තම ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුය.