නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් බවට සැක කෙරෙන සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ජීප් රථය (V8) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙකු ලවා රැගෙන යාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරිණී.
හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට අයත් ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබූ අතර ඔහුගේ නිවස පසුගියදා පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමුවූයේ නැත.
පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබිණි.
අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.
එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කරනු ලැබූ අතර පසුගිය නොවැම්බර් 08 වෙනිදා සුජීව සේනසිංහගේ කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගොස් තිබිණි.