ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජාතික සන්ධානය යන නාමය භාවිතා නොකරන්නැයි මැතිවරණ කොමිසම කළ දැනුම්දීම සම්බන්ධයෙන් අභියාචන ඉදිරිපත් කරන බවත් එයින් විසදුමක් නොලැබුණහොත් අධිකරණයට යාමට කටයුතු කරන බවත් මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින් කරුණාකරන් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය නව දේශපාලන පක්ෂයක් වශයෙන් පසුගියදා මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කෙරුණු බවද එහෙත් සිය පක්ෂය දෙමළ ජාතික සන්ධානය වශයෙන් භාවිතා කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවද ටීඑන්ඒ වශයෙන් භාවිතා නොකරන්නැයි දැනුම් දී ඇති බවද කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂ එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වෙන්වෙන්ම තරග කිරීමට තීරණය කළ අතර එහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් එම තීරණයට ප්ලෝට් ටෙලෝ යන පක්ෂ සිය විරෝධය පළ කර සිටියේය.

ඉන් පසුව ප්ලොට්, ටෙලෝ, ඊපි ආර්එෆ් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කූට්ටනි යන දේශපාලන පක්ෂ ඇතුළු තවත් පක්ෂ කිහිපයක එකමුතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් ලියාපදිංචි කෙරුණි.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඉංග්‍රීසි භාෂාවෙන් කෙටිකර දැක්වීමේදී බහුලව ටීඑන් ඒ වශයෙන් භාවිතා කරන බවත් එය දෙමළ ජාතික සන්ධානය බහුලව හැදින්වෙන නාමය වන බැවින් ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානය එම කෙටි නම භාවිතා කිරීම වළක්වන්නැයි ඉල්ලිමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජිනි මෙන්ඩිස්