නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (12)
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර ඇත.

එමෙන්ම හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පවසා තිබේ.

අනිද්දා දිනයේ සිට සියයට 16කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර සෑම මාස 03කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වනිදාට ඉස්සෙල්ලා සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබාදෙනවා. ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවාවන් 222කට අලුතින් පත්වීම් ලබාදුන්නා පසුගිය සති කිහිපය තුළ. ඒ නිසා තිබුන හිඟය යම්කිසි අඩුවක් ප්‍රගතියක් තියෙයි. තවත් 600ක් විතර පුහුණු කරලා ගන්න බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්. ඉදිරියේ දී විශේෂයෙන්ම හෙද හෙදියන් 2,200කට පත්වීම්දෙන්න බලාපොරොත්තු වෙනවා. එන මාස එකහමාර තුළ. ඒ ගෙවීම් සඳහා යම්කිසි විදියක ප්‍රතිපාද හොයාගෙන තිබෙනවා. බිලියන 4ක් වෙන්කර ගත්තා කැඩිලා තියෙන මැෂින් හදාගන්න. විශේෂයෙන්ම මම හිතනවා මේ අවුරුද්ද තමයි අපේ පසුගාමීත්වයට වැඩිපුරම ලක්වුණ අවුරුද්ද. නමුත් ඉදිරියේදී යම් යම් සුබවාදි බලාපොරොත්තු තබාගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙමින් පවතිනවා.”