ඊශ්‍රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය සාකච්ඡාවල මැදිහත්කරුවන කටාරය වෙත යවා ඇති බව හමාස් නායකයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ පිටපතක් තමන්ට ද ලැබුණු බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත

එම නිවේදනයේ සටන් නැවැත්වීමේ එකඟතාව ඇතිවන ආකාරය පිළිබඳව විස්තර සඳහන් කර නොමැත.

කෙසේ නමුත් හමාස් ප්‍රකාශකයෙකු අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ සටන් නැවැත්වීමේ කාලසීමාව, ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට හිලව් ලෙස හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගතවී ඇති බවය.