2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පරීක්ෂණ වලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්තාවේදීයි.

එහිදි සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදු කර තිබුණ ද එම පරීක්ෂාව සිදු කරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් ප්‍රකාශ කරසිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදු කළද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවා දායකයාට අසාධාරණයක් සිදුවන බවයි

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට නියම කර ඇති බව වාර්තා වේ.