2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ජාතික වරම් ලත් සහ ජාතික වරම් නොලැබුණු ලෙස කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩකයන් 360දෙනෙකු ලියාපදිංචි වී ඇත. ලියාපදිංචි ක්‍රීඩකයන් අතරින් විදේශීය ක්‍රීඩකයන් 156දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 204දෙනෙකු ද වේ.

හෙට පස්වරු 3.00ට ආරම්භ වන වෙන්දේසිය වට 51කින් සමන්විතය. පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයන්, වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් සහ කඩුලු රකින ක්‍රීඩකයන් වැනි බහුවිධ දක්ෂතා කෙරෙහි අවධානය යොමු කරමින්, එක් එක් නිර්ණායක යටතේ ක්‍රීඩකයන් කාණ්ඩ කර ඇත.

සෑම කණ්ඩායමක්ම වෙන්දේසියට පෙර ඍජු තෝරා ගැනීම් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු කණ්ඩායමට ලබාගෙන ඇති බැවින් වෙන්දේසියේදී විදේශීය ක්‍රීඩකයන් හතර දෙනෙකු ඇතුළුව අවම වශයෙන් ක්‍රීඩකයන් 16දෙනෙකු තම කණ්ඩායමට තෝරා ගත යුතුය.

වෙන්දේසියේදී සෑම කණ්ඩායමක්ම වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීම අනිවාර්ය වේ.

වෙන්දේසිය සඳහා සෑම කණ්ඩායමකටම ඩොලර් 500,000ක මුදලක් ලැබෙනු ඇත. ඒ අනුව සෑම කණ්ඩායමක්ම වෙන්දේසියට ගෙන එන මුදල් පසුම්බියෙන් අවම වශයෙන් සියයට 85ක් ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා වැය කළ යුතුය.

ඉන්දීය ජාතික චාරු ශර්මා වෙන්දේසිය මෙහෙයවන්නා ලෙස සහභාගි වේ.

කවිඳු කාරියවසම්