කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරනවා.

“ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම රැකියා ස්ථානය හා පාසල් භූමිය මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කිරීමට.”

නිසි පාලනයක් නොකළහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත්වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසා සිටිනවා.

එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ මේවන විට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් නොකරන බවයි

මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2017 වසරේ වර්තා වී තිබේ.

එම වසරේ දී මෙරට ‌ඩෙංගු අධි වසංගත තත්ත්වයක් අතිවූ අතර එහිදී ඩෙංගු රෝගීන් 186,101 වාර්තා වී ඇති බව සඳහන්ය.

එම වර්ෂයේ දී ඩෙංගු මරණ 440 ක් සිදුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් වසරේ මේ දක්වා වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 43346 වාර්තා වී තිබේ.

නිජිත් සුමනසේන මහතා පවසන්නේ නිවාස ඒකකවලින් සියයට 2ක් පමණ මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි