ඉඩම්, පොලිස්, මුල්‍ය යන බලතල ඇතුළුව දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් සියලු බලතල සම්පුර්ණයෙන්ම හා එයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය යන්න තම ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික එකමුතුව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට තීරණය කර තිබේ.

එමෙන්ම ජනවාර්ගික ගැටලුවට ෆෙඩරල් ක්‍රමයේ විසදුමක් පමණක් අපේක්ෂා කරන බවද එම පක්ෂ ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ලබන 15 වනදාට පෙර යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂ නායකයින් වෙත කර තිබූ දැනුම්දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා මේ බව සඳහන් කළේය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අතරම ජනවාර්ගික ගැටලුවට තිරසාර විසදුමක් වශයෙන් ෆෙඩරල් විසඳුමක් පමණක් අපෙක්ෂා කරන බවත් ඒ සදහා ඉන්දියාව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත බලකර සිටිය යුතු යැයි සිය පක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිය බවත් එම ඉල්ලීමම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ වන ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික එකමුතුවේ සාමාජික පක්ෂ වන තමිල් මක්කල් තේසීය කූට්ටනි. ඊපී ආර්එර්එෆ්, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් 13 වන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා වන යෝජනාව ඒකාබද්ධ නිවේදනයක් වශයෙන් ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිතය.

ඒ අනුව එවැනි නිවේදනයක් යැවීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික එකමුතු වේ නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක් හා එම පක්ෂ වල දේශපාලන මණ්ඩල කණ්ඩායම් අතර සාකච්ඡා හා රැස්වීම් පසුගිය දින කිහිපයේ පැවැත්වුණු අතර ඉදිරි දින කිහිපයේදී එවැනි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේය.

රාජිනි මෙන්ඩිස්