දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයන් කොමිස් වෙනුවෙන් දියත් කළ වෘත්තීය සමිති අරගලය අවසන් කළේ ඔවුන්ගේ රැකියා නැති වන බවට පළවෙනි ලිපි දහස නිකුත් වන බව දැනගැනීම හේතුවෙන් බවත්, ඒ වන විට සිය වර්ජනය හරහා ඔවුන් ජීවිතයක් බිල්ලට ගෙන අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රකාශ කරයි.

“තමන්ගේ රස්සාවල් ටික නැති කරනවා කියලා පළවෙනි ලිපි දහස නිකුත් කරනකොට කට්ටියට 2024 ජූලි මාසේ නැවත වතාවක් 80 ජූලි මාසේ මතක් වෙන්න පටන් ගත්තා. කොමිස් වෙනුවෙන් එළියට බැහැපු ඇතැම් වෘත්තීය සමිති අවසානෙදි තමන්ගේ අරගලය ඉවර කළේ ජීවිතයකුත් නැති කරලා.” යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේ කිලිනොච්චිය ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ සමාරම්භක දිනයට ඊයේ සහභාගි වෙමිනි.

උතුරේ යුද සමයේදී පවා නිවෙස් තුළ, බංකර් තුළ දරුවන්ට අධ්‍යාපනය දුන් ගුරු – විදුහල්පතිවරුන් සිටියද දකුණේ ගුරු – විදුහල්පතිවරුන් සිය වැටුප සහ දුම්රිය වර්ජකයන්ගේ කොමිස් මුදල් සඳහා කරන වර්ජන වෙනුවෙන් සහයෝගය දක්වමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය උකසට ගෙන කටයුතු කරන බවත් ඇමැතිවරයා එහිදී පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ සමගිය වෙනුවෙන් තීරණ ගත් එකම රාජ තාන්ත්‍රිකයා හැටියට සඳහන් කළ ඇමැතිවරයා එහිදී මෙසේ පැවසීය.

“කිලිනොච්චිය දරුවන් දිහා බැලුවහම මට සතුටකුත් දුකකුත් ඇති වෙනවා. කිලිනොච්චියේ දරුවෝ උතුරේ යුද්ධය තිබුණ බරපතලම තැන විදිහට පීඩාවට පත්වෙලා, අවුරුදු ගණනාවක් අධ්‍යාපනය හදාරන්නට බැරි වෙලා, මේ දරුවන්ගේ අම්මල තාත්තලා දැඩි පීඩනවලට ලක්වෙලා, සියල්ල කැප කරගෙන අද දවසෙදි ඉතාමත්ම හොඳින් අධ්‍යාපන කටයුතු කරද්දී දකුණේ දරුවෝ – ඒත් මගේම දරුවෝ අද ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරලා තියෙනවා එක එක දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට. උතුරේ යුද්දෙ තිබුණත් ඒ දවස්වල ගෙවල් ඇතුළේ බංකර් ඇතුළේ තියාගෙන මෙහි ගුරුවරු, විදුහල්පතිවරු උගන්වන්න වැඩ කරද්දී අද දකුණේ ගුරුවරු, විදුහල්පතිවරු තමන්ගේ වැටුප වෙනුවෙන් දුම්රිය වර්ජකයින්ගේ කොමිස් මුදල් සඳහා කරන වර්ජන වෙනුවෙන් සහයෝගය දක්වමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය උකසට අරගෙන තියෙනවා.”