2022 ජූලි 13 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදා ගුවන් යානයක් හරහා මාලදිවයිනට පිටත්ව යෑමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අරමුදල් සැපයූ බව තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ ඉල්ලීමක් මගින් අනාවරණය වී ඇත.

2022 ජූලි 9 වන දින කොළඹ පැවති ‘අරගලය’ මහජන විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දෙකම අත්පත් කර ගැනීමෙන් දින කිහිපයකට පසු හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනට පළා ගියේය.

“මෙම ගමන සිදුකරන ලද්දේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් භාවිත කර, ආරක්ෂක අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරය හරහා ගුවන් හමුදාවට වෙන්කරන ලද අරමුදල් මගිනි” යනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, තොරතුරු දැනගැනීමේ ඉල්ලීමෙන් විමසා ඇති නමුත්, ගුවන් හමුදාව මෙම සංචාරයේ පිරිවැය හෙළිකර නැත.

එකල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා, විධායක, රජයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය අනුව තමන් එම ගුවන් ගමනට පහසුකම් සැලසූ බව ගුවන් හමුදාව පැහැදිලි කර ඇත.

මෙම ගුවන් ගමන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද නමුත් මෙම ගුවන් ගමනාගමනයේ රහස්‍ය ස්වභාවය හේතුවෙන් අනුමත ලේඛනයේ තොරතුරු හෙළිකළ නොහැකි බව ගුවන් හමුදාව සඳහන් කර ඇත.

“පවතින පරිචය අනුව, අපි ජනාධිපතිවරයාගේ ගුවන් ප්‍රවාහනය සඳහා ඉන්ධන පරිභෝජනය ගණනය නොකරමු, ඔහු රාජ්‍ය නායකයා වන අතර VVIP කාණ්ඩයට අයත් වේ,” යනුවෙ​න් ගුවන් හමුදාව පවසයි.

2022 ජුලි 13 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය නිවේදනයකට අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා එදින අලුයම මාලදිවයිනට ගුවන් හමුදා ගුවන් යානයකට ගොඩව තිබේ.

මීට පෙර 2022 වර්ෂයේදී, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 5(1)(b)(i) වගන්තිය යටතේ ඉල්ලා සිටි විස්තර නිකුත් කළ නොහැකි බව පවසමින් ගුවන් හමුදාවේ තොරතුරු නිලධාරියා සහ නම් කරන ලද නිලධාරියා යන දෙදෙනාම RTI අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත.

එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

විභාග තුනකින් පසුව, කොමිසම 5(1)(b)(i) වගන්තිය තොරතුරු ඉල්ලීමට අදාළ නොවන බව නිගමනය කළ අතර 2023 ජූලි 4 වන විට අභියාචනාකරු වෙත තොරතුරු නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියෝග කළේය.