අද ලොව කොතැනක හෝ සිදුවන අර්බුදයකදී ප්‍රථම ප්‍රතිචාරකයා වන්නේ ඉන්දියාව බවත් මෙය සහානුකම්පාව පිළිබඳ බුදුන් වහන්සේගේ ප්‍රතිපත්තිය පිළිඹිබු කිරීමක් බවත් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (ඔක්. 17) ජාත්‍යන්තර අභිධර්ම දින වැඩසටහන අමතමින් ය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

https://x.com/IndiainSL/status/1846861993086456312

“වරක් මම එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් කියා සිටියේ ඉන්දියාව ලෝකයට දී ඇත්තේ, ‘බුද්ධ’ මිස ‘යුද්ධ’ නොවන බව යි. අද මා විශ්වාසයෙන් කියා සිටින්නේ, ලෝකය යුද්ධය තුළ නොව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ විසඳුම් සොයා ගනියි” ඉන්දීය අග්‍රාමත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත.

බුදුන් වහන්සේ විසින් දේශිත අභිධර්මය, වදන් සහ ඉගැන්වීම් උරුමයක් ලෙස ලොවට දායාද කරන ලද පාලි භාෂාවට ඉන්දීය රජය විසින් මෙම මාසයේදී සම්භාව්‍ය භාෂා තත්ත්වය ලබා දී ඇත.