මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබූ අතර පොලීසිය සඳහන් කළේ මෙම වැටලීමේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් අවුරුදු 47 හා 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වර්තා වෙයි.

සැකකරුවන් සහ දේපොළ මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.