ඔස්ට්‍රේලියා හා ඉන්දීය කණ්ඩායමටත් දඩ

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය තුළදී අවශ්‍ය පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙන් අයි.සී.සී.ය මගින් දඩ නියම කර තිබේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක්ද, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරග ගාස්තුවෙන් 80%ක දඩ මුදලක්ද නියම කර ඇත.

ඉන්දීය කණ්ඩායම නියමිත කාලය අවසානයේ පන්දුවාර 5ක් පිටුපසින්ද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත කාලය අවසානයේ පන්දුවාර 4ක් පිටුපසින්ද සිට ඇති බව අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් රටවල් දෙකේම නායකයන් ඔවුන්ගේ වරද පිළිගෙන දඩ මුදල ගෙවීමට එකඟ වී තිබේ.

මීට අහතරව ඉන්දියාවේ ෂුබ්මන් ගිල්ට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට අයි.සී.සී.ය තීරණය කර ඇත. ඒ ඔහුගේ දෙවැනි ඉනිමේ දැවී යාම සම්බන්ධයෙන් විනිසුරුවන් ලබාදුන් තීන්දුව විවේචනය කිරීම හේතුවෙනි.

කැමරන් ග්‍රීන් විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් ගිල් දැවී ගිය අතර, එම උඩපන්දුව නිසි අයුරින් රැකගත් උඩ පන්දුවක් බව රූපවාහිනී විනිසුරු Richard Kettleborough විසින් තීරණය කළේය. කෙසේ නමුත් ෂුබ්මන් ගිල් විසින් සමාජ මාධ්‍ය වෙත ස්ටෝරියක් එක්කරමින් අදාළ විනිසුරු තීරණය ප්‍රශ්න කර ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් තරග ගාස්තුවෙන් 115%ක දඩ මුදලකට යටත්ව ඇති බැවින් ඔහුට අයි.සී.සීය වෙත මුදල් ආපසු ගෙවීමක් සිදු කිරීමට සිදු වනු ඇත