එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඕමාන කණ්ඩායම ඊයේ සමත් විය. ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කිරීමද විශේෂත්වයකි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 281ක් රැස් කළේය. එහිදී ජෝර්ජ් ඩොක්රෙල් නොදැවී ලකුණු 91ක් සහ හැරී ටෙක්ටර් ලකුණු 52ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් බිලාල් ඛාන් සහ ෆයාස් බට් කඩුලු 02 බැගින් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 282 ඉලක්කය හඹාගිය ඕමාන කණ්ඩායම පන්දුවාර 48.1 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 285ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී ආරම්භක පිතිකරු කාශ්‍යප් ප්‍රජාපතී ලකුණු 72ක්, ෂීෂාන් මක්ෂූඩ් ලකුණු 59ක් සහ අකීබ් ඉල්යාස් ලකුණු 52ක් රැස් කරමින් ඕමාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.