එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරගයෙන් ඕමාන කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

බුලවායෝහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් නායක දසුන් ශානක පළමුව පන්දු හැවීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

එහිදී වැශිස්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළීය. ඊට අමතරව ලහිරු කුමාර ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 100 ලබාගනිමින් තරගය පහසුවෙන් ජය ගත්තේය

එහිදී ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් සහ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංග දිනා ගත්තේය.

ඒ අනුව මෙතෙක් B කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටි ඕමානය දෙවැනි ස්ථානයට ඇඳ දමමින් එම කාණ්ඩයේ පෙරමුණ අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.