ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

“මේ මොහොත වනවිට අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත්වලින් 190ක වගේ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. හැබැයි ආරෝග්‍යශාලාවල 90ක් වගේ තමා අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට විතර බෙහෙත් ඒ ආරෝග්‍යශාලාවල තියෙනවා. හැබැයි අපිට තාම පාලනය කරන්න පුළුවන් තැනක තියෙනවා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටත්, ජනාධිපතිවරයාටත් විටින් විට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. හෙට කැබිනට් මණ්ඩලයට වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා මේ තාවකාලිකව ඇතිව තිබෙන බෙහෙත් හිඟය නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා.