හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලක නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර ඇත.

එම උද්ඝෝෂණය අතරතුරදී පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.