ජය ශ්‍රී අයියා මලෝ කවදත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙන්නේ වෙනස් අන්දමේ නිර්මාණ කරපු දෙන්නෙක් විදියටයි. ජය ශ්‍රී ලා දිගු කාලයකට පස්සේ අලුත් නිර්මාණයක් එළිදක්වන එක ගැන කතා පහුගිය දිනවල පැතිරුණා. මේ ගීතය අද වෙද්දී ජය ශ්‍රී ලගේ යූ ටියුබ් චැනල් එකට මුදාහැරලා තියෙනවා.‍ ‘මතුවෙන්න – The Diamond Story’ නමින් නම් කරලා තියෙන මේ ගීතය ඩයමන්ඩ් තේමාව කැටිකර ගනිමින් නිර්මාණය වුණු ගීතයක්.‍

‘කවදත් කොතැනත් රුවිත විඳින්නට

නොමැත කිසි භේදයක්

ජයපැන් බොන්නට

හිතවත් වෙන්නට

අනාගතය දකිනා

යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැ‍ඳෙනා’

දියමන්තියක් වගේ ඔපමට්ටම් වෙලා ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ මතුවෙන්න කියන කතාව තමයි මේ ගීතය පුරාම ඇහෙන්නේ‍.

ගීතයේ ආරම්භය සිට අවසානය තෙක් සමස්ත ගීතය පුරාම දකින්න ලැබෙන්නේ ඩයමන්ඩ් සංකේත. මේ ඩයමන්ඩ් සං‍කේත පිටුපස්සේ සැඟවිලා තියෙන්නේ මොකක්ද කියලත් ජය ශ්‍රී රසිකයින් ඔවුන‍්ගෙන් විමසලා තිබුණා. කො‍හොම වුණත්, මේ සැඟවුණු දියමන්තියේ අභිරහස ගැන නම් ජය ශ්‍රී ලා තවම හෙළිදරව් කරලා නැහැ.

කොහොම වුණත්, ජය ශ්‍රී ලා මේ ගීතයෙන් ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි. ‘ජයගන්නට හැකි තුරුම්පුවක් වී – ලොවටම පෙන්වන්න’ කියන පණිවිඩයෙන් ජය ශ්‍රී ලා නැවත නැවතත් කියා හිඳින්නේ දක්ෂතා සඟවා නොඉඳ දියමන්තියක් වගේ ඔපමට්ටම් වී මතුවෙන්න කියන වගයි.

ජය ශ්‍රී ගායනයෙන් එළිදැක්වුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්). දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ ප්‍රදේශ වල මෙහි රූපගත කිරීම් සිදු‍කරලා තියෙනවා. මේ නිසාම තවමත් අපි නොදුටුව ලංකාවේ සුන්දරත්වය දැකගන්නටත් හැකියාව ලැබෙනවා.

අමතක නොකර විඳගන්න. ‘මතුවෙන්න’