රන්බීර් කපූර් රංගනයෙන් දායක වන ANIMAL චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳහෙලමින් අති සාර්ථක ගමනක  යෙදෙන්නේ මෙම වසරේ නිකුත් වූ බොහෝ ජනප්‍රිය චිත්‍රපට තඹයකට වත් මායිම් නොකරමින්. තිරගත වීම අරඹා දින 11 පමණක් ගතවන මේ මොහොතේ ANIMAL තිරගත කිරීමෙන් ලබා ඇති සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කොටි 737ක්. එය මෙම වසරේ නිකුත් වූ බොලිවුඩ් චිත්‍රපටයක් ලද තෙවැනි වැඩිම ආදායම ද වනවා. දෙසැම්බර් 01වැනිදා සිට ANIMAL සමඟින්ම තිරගත වීම ඇරඹූ Sam Bahadur චිත්‍රපටය ඉන්දියාව තුළ තිරගත කිරිමෙන් පළමු දින ලැබුවේ ඉන්දියානු රුපියල් කෝටි 5ක ආදායමක් පමණක් වන අතර, ANIMAL පළමු දින කෝටි 60ක ආදායමක් ලබා ගැනීමට සමත් වී තිබුණා. දිනෙන් දින ANIMAL ලබන ආදායම ඉහල යද්දී Sam Bahadur චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 50ක් පමණ වූ නිෂ්පාදන පිරිවැය හෝ සපුරා ගැනීමට හැකිවේද යන්න පිළිබඳව ඇති කළේ සැකයක්. නමුත් නිකුත් වී 11 වන දිනය වන විට ඉන්දියානු රුපියල් කෝටි 75ක ආදායමක් ලබා ගනිමින් Sam Bahadur ස්ථාවර ගමනක යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සහිතව භාෂා 5කින් තිරගත වන ANIMAL වැනි දැවැන්ත චිත්‍රපටයක් හමුවේ Sam Bahadur චිත්‍රපටය නොසැලී සාර්ථකව තිරගත වීමම එහි විශිෂ්ඨත්වය මැනැවින් කියාපානවා.

Sam Bahadur චිත්‍රපටය නිර්මාණය වන්නේ ඉන්දියාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් වරයා ලෙස නම් කෙරුණු “සෑම් මාණික්ශෝ” නම් නිර්භීත හමුදා නිලධාරියාගේ ජීවිත කථාව පාදක කරගනිමින්. “බංග්ලාදේශ විමුක්ති සටන” ලෙස හඳුන්වනු ලැබූ 1971 ඉන්දු – පාකිස්ථාන යුද්ධයට නායකත්වය දෙමින් බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීමට ඉන්දියානු යුධ හමුදාවේ 7 වැනි හමුදා ප්‍රධානියා ලෙස සෑම් මානික්ශෝ සිදු කළ මෙහෙය මෙන්ම ඔහුගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයන් මෙම චිත්‍රපටය සඳහා පසුබිම් වී තිබෙනවා. Biographical war drama ශානරයේ චිත්‍රපටයක් වන Sam Bahadur චිත්‍රපටය, Filhaal (2002), Just Married (2007), Dus Kahaniyaan (2007), Talvar (2015), Raazi (2018), Chhapaak (2020) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මේග්නා ගුල්සාර් ගේ තවත් අගනා අධ්‍යක්ෂණයක්. චිත්‍රපටයේ ධාවන කාලය වන මිනිත්තු 148 තුළට “සෑම් මාණික්ශෝ”  නම් ප්‍රතාපවත් චරිතය ගොනු කිරීම කිසිසේත් ලේසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් ශාන්තනු ශ්‍රීවාස්තව් සහ මේග්නා ගුල්සාර් එම අභියෝගය “බොහෝදුරට” සාර්ථකව ජයගෙන ඇති ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. සෑම් චරිතය මෙන්ම, සෑම්ගේ බිරිඳ සහ ඉන්දිරා ගාන්ධි යන උප ප්‍රධාන චරිත ඉතා හොඳින් තිර රචනයේදී ගොඩනගා ඇති ආකාරයක් දකින්නට ලැබුණා. උදාහණයක් ලෙස ප්‍රතාපවත් හමුදා නිලධාරියකු වන සෑම්, සිය වෘත්තිය ජීවිතයේ කෙතරම් විනයානුකූල, දැඩි, ප්‍රතාපවත් පුද්ගලයෙකු වුවත් සාමාන්‍ය ජීවිතයේ සැහැල්ලු චරිතයක් ලෙස අනායාසායන් ඉස්මතු කිරීමට හොඳින් සමත් වී තිබුණා. නමුත්, ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථා තිරයට නැගීමේදී චිත්‍රපටයේ ගලායාම ඒකාකාරී වූ බවක් දක්නට ලැබීම නම් කැපී පෙණුනා. චිත්‍රපටය සඳහා නිසියාකාරයෙන් අවස්ථා ග්‍රහණය කර ගැනිමට අපොහොසත්වීම හේතුවෙන් සිනමා පටය “සිද්ධි” වශයෙන් ඛණ්ඩනය වූ ආකාරයක් (fragmented segments) දක්නට ලැබිම විශාල අඩුපාඩුවක් ලෙස දැකගත හැකි වුණා. චිත්‍රපටයේ කැපීපෙනෙන තවත් අඩුපාඩුවක් ලෙස කථාවේ කුතුහලය ඇති කිරීමේ දුර්වලතාවය පෙන්වා දිය හැකියි.

මේග්නා පවසන ආකාරයට Sam Bahadur චරිතය සඳහා ඇගේ පළමු තේරීම වී ඇත්තේද විකී කෞෂාල්මයි. මෙම චිත්‍රපටය පිළිබඳ අදහස ඇය විසින් විකී කෞෂාල්ට පවසා ඇත්තේ, ඔහු ද පාකිස්ථාන හමුදා නිලධරයෙකු ගේ චරිතයට පණ පෙවූ Raazi (2018) චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර වන අතර, විකී නොපැකිලව ඒ සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. ඉන් වසර කිහිපයකට පසු ෆීල්ඩ් මාෂල් සෑම් මාණික්ශෝ ගේ 107 වන ජන්ම දිනයේදී චිත්‍රපටය නිලවශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා. “සෑම් මාණික්ශෝ” චරිතය සඳහා විකී කෞෂාල් තෝරාගැනීම ඉතාමත් නිවැරදි බව චිත්‍රපටය නැරඹීමේදී  පෙනී යනවා. එතරම් විශිෂ්ඨ ලෙස විකී සෑම් චරිතයට අනුගතවී ඇති බව දක්නට ලැබෙනවා. ඒ සඳහා ඔහු විසින් සෑම් මානෙක්ශෝගේ ප්‍රභල පෞර්ෂය, පුරුදු, කතා විලාශය සහ අංග චලනයන් ඉතා හොඳින් අධ්‍යනය කර ඇති බවක් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී චිත්‍රපටයේ දක්නට ලැබුණු ඒකාකාරී බව බිඳ හෙලීමට විකීගේ රංගනය ඉවහල් වූ බවද කිව යුතුමයි.

සෑම් මානෙක්ශෝගේ බිරිඳ ගේ චරිතය නිරූපණය කළ සාන්‍යා මල්හෝත්‍රා සහ පාකිස්ථානු ජනපති චරිතය නිරූපණය කළමොහොමඩ් සීශාන් අයූබ් ද සිය චරිත මැනවින් ඉදිරිපත් කර තිබුණා. නමුත් අගමැති ඉන්දිරා ගාන්ධි චරිතය නිරූපණය කළ ෆාතිමා සනා ෂෙයික් ගෙන් මෙයට වඩා වැඩි දායකත්වයක් චරිතයට ලබා ගන්නට හැකියාව තිබූ බවද පෙනෙන්නට තිබුණා. හිටි හැටියේ තිරයේ  මතුවන චරිතයක් ලෙස පෙණුනු සෑම්ගේ බිරිඳගේ චරිතයට මීට වඩා වැඩි තිරකාලයක් ලබා දීමට තිබූ බවයි අපගේ හැඟීම. සමස්තයක් ලෙස වේෂ නිරූපණය ඉහළ මට්ටක පැවතුණත්, සෑම් සහ ඉන්දිරා චරිත මීට වඩා හොඳින් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වේෂනිරූපණයේ දායකත්වය ලබාගැනීමට හැකියාව තිබු බව පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් ඉන්දිරා ගාන්ධි චරිතයේ වේෂ නිරූපණයේ පැහැදිලි අඩුවක් දකින්නට ලැබුණා. ඒ වාගේම දශක ගණනාවක් ආපසු දිවෙන මෙම සිනමා පටයේ පසුතල නිර්මාණය ඉතා ඉහළ මට්ටමක තිබූ බව කිව යුතුයි. කාලානුරූපව යුධමය දර්ශනවල සමීප අත්දැකීමක්  ප්‍රේක්ෂකයාට ලබා දීමට කලා අධ්‍යක්ෂණයේ ඉහළ දායකත්වයක් ලැබී තිබූ බව කිව යුතු වනවා. එම දර්ශන අතිසාර්ථකව තිරයේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජෙයි අයි. පටේල්ගේ කැමරා අධ්‍යක්ෂණය ලබා දී ඇති දායකත්වය පිළීබඳව ද සඳහන් නොකරම බැහැ.

Shankar–Ehsaan–Loy සංගීතයෙන් හැඩවි ඇති Sam Bahadur ඉතා සුමියුරු ගීත 4කින් ද සමන්විත වනවා. ශ්‍රෙයා ඝෝෂාල් සමඟ සෝනු නිගම් ගයන “Itni Si Baat” ගීතය මෙන්ම ශංකර් මහාදේවන් සමඟ විශාල් දද්ලානි ගයන “Badhte Chalo” ගීතය ද සමාජ මාධ්‍යයේ පවා ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පවතිනවා. යුධමය චිත්‍රපටයක් වුවත් Sam Bahadur බොලිවුඩ් සිනමාවේ දකින්නට ලැබෙන, “දේශානුරාගයෙන් ගොඩයන්නට හදන” ආකාරයේ තවත් චිත්‍රපටයක් නොවන බව කිව යුතු වනවා. මෑතකදී නිකුත් වූ Gadar 2 වැනි චිත්‍රපටයක වුවත් අසාමාන්‍ය ලෙස ජාතිකත්වය ඉස්මතු කර දුෂ්ඨයා හෙළා දකින ආකාරයක් දක්නට ලැබුණු නමුත්, යුධ වීරයෙකු පිළිබඳ සිනමා පටයක් වුවත් එම සීමාව ඉක්මවා නොයන්නට අධ්‍යක්ෂවරිය වගබලාගෙන තිබීම අගය කළ යුතුයි. ඉහළ විචාරක ඇගයීමක් හිමි වී ඇති Sam Bahadur චිත්‍රපටය සඳහා හිමිවී ඇති IMDb අගය 8.5ක් වනවා. අවාසනාවට කරුණ නම් මෙම අපූරු චිත්‍රපටයේ සිනමාශාලා අත්දැකීම (Theatrical experience) ශ්‍රී ලංකාවේ රසිකයින්ට මෙතෙක් හිමි වී නොතිබීමයි. එම නිසා ඉඩක් ලද වහාම ප්‍රතාපවත් Sam Bahadur පෞර්ෂයට සම්මුඛ වීමේ අවස්ථාව මඟහැර නොගන්නා ලෙස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට අප මතක් කර සිටිනවා.

උමේෂ් ද සිල්වා