විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත.

කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කර තිබේ.

“මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල් රැසක සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතු වරෙන්තු පවා ලබාගෙන තිබෙනවා. දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සැඟවී සිටින එක් පාතාල සාමාජිකයෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට එම රටවල් සමග සාකච්ජා සිදු කෙරෙමින් පවතිනවා. නමුත් ඒ රටවල පවතින නීතිමය තත්ත්වයන් සමග ඒ කටයුතුවලට යම් කාලයක් වැය වනවා.
යුක්තිය වැඩසටහනට බාධා කරන පිරිස් මෙය නතර කරන බවට විවිධ ප්‍රචාර සිදු කළත් අප කිසිසේත් ම මෙම මෙහෙයුම නතර කරන්නේ නැහැ. කවුරුන් බාධා කළත් ඉදිරි මාස හය තුළ රට තුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන් ම මැඬපවත්වන ඉලක්කය අප ජය ගන්නවා.
ඒ තුළින් රටේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇති බව මට විශ්වාසයි. මා මෙම අමාත්‍ය ධූරයේ කටයුතු කරන තාක් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගත හැකි උපරිම පියවර ගන්නා බවට මම සහතික වනවා.”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ