ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා විසින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු වේ.එසේ වුවත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බව ද අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පසුගිය දා පැවසීය.