ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙන් 20 දෙනකුට විදුලි සැර වැදී ඉන් එක් අයකු මියගොස් තිබෙන බව බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයෙකි.

එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර නැරඹීමට බෝට්ටුවක ගමන් කර ඇත.

මියගිය තරුණයා විසින් බෝට්ටුව පදවා තිබෙන අතර එහිදී ඔහු විසින් රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබෙන බව පොලිසිය පවස‍යි.

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැති බවයි වාර්තා වන්නේ.