අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශිෂ්‍ය ශුභසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම වෙනුවෙන් නොමිලේ තිළිණපත් ලබා දීම අද (ජූනි 6) ආරම්භ කර ඇත.

ඒ සඳහා, රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 7ක සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජූනි මාසයෙන් ආරම්භ කර මාස 6ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,200ක තිළිණපතක් ලබා දෙන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබේ.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත වේ.