‘‘දේශපාලන ගණිකාවන් පාර්ලිමේන්තු එවන්න එපා‘‘ – හර්ෂණ රාජකරුණා

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස රටේ මැතිවරණ පැවැත්වීම නතර කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සුදානම් වන බවත් මැතිවරණ පැවැත්වීම සඳහා වන සටනේදී සමගි ජනබලවේගය ජනාතාව සමඟ සිටින බවත් ඒ වෙනුවෙන් අධිකරණයේදී, පාර්ලිමේන්තුවේදී මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදීද ඒ වෙනුවෙන් සටන් කරන්න සමගි ජනබලවේගය සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

‘‘ජනතා රැල්ල සමගි ජනබලවේගය දෙසට එනවිට ජනාධිපතිවරයා මැතිවරණය කල් දාන්න විවිධ උප්පරවැට්ටි යොදනවා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා සහ සභාපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතුයි කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් ජනාධිපති අපෙක්ෂකයා විය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කළා.

මේ ආකාරයටම පළාත් පාලන මැතිවරණය නවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කළා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න මුදල් ලබාදෙන ලෙස අධිකරණය රජයට නියෝග කළත් එම තීන්දුව ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කළේ නෑ. ඒ වගේම පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න රජය කටයුතු කළා. ඒ වගේම ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටින්නත් කටයුතු කළා.

ජන මතයකින් පත්වුණ ජනාධිපතිවරයෙක්, ජන මතයකින් පත්වුණ පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යව තිබෙනවා. අලුත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් වන තුරු රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය ලැබුණේ ජන මතයකින් නෙවෙයි. පාර්ලිමේන්තුවේ සිටින පොදුජන පෙරමුණේ 134 දෙනෙකුගෙන් තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය ලැබුණේ. මේ වනවිට ජනමතය විකෘති වෙලා තිබෙන්නේ. පොදුජන පෙරමුණේ පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත් කළානම් ජනමතය විකෘති වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජය වුණ පුද්ගලයෙක් තමයි අද රටේ ජනාධිපති බවට පත්වෙලා සිටින්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමි ජනාධිපතිවරයා රටේ පැවැති ජනාධිපතිවරණ කිහිපයකටම ඉදිරිපත් වුණෙත් නෑ.

ජනතාවගේ අපෙක්ෂාවන් ඉටු කරන්න නම් ජනාතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු පත් කරන්න නම් මැතිවරණයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තවත් දින කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන්න මැතිවරණ කොමිසන් සභාවට බලය ලැබෙනවා. මැතිවරණය පැවැත්වීම නතර කරන්න ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු සිදුකරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සුදානම් වනවා. මැතිවරණ පැවැත්වීම සඳහා වන සටනේදී සමගි ජනබලවේගය ජනාතාව සමඟ සිටිනවා. ඒ වගේම මැතිවරණයක් පැවැත්වීම සඳහා අධිකරණයේදී, පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ඒ වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරනවා.” බවයි.

විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වන සියලු දෙනාට අවසානයේ සිදුවෙන්නේ දේශපාලනිකව සියදිවි නසා ගැනීමට බවත් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වෙන සියලු දෙනා දේශපාලන ගණිකාවන් බවත් හර්ෂණ රාජකරුණා එහිදී සඳහන් කළේය.

” ඇමැතිධූර නිසා , මුදල් නිසා , වෙනත් ප්‍රතිලාභ නිසා කිහිපදෙනෙක් ආණ්ඩුවට එකතු වෙන්න උත්සහ කරනවා. එක් කෙනෙක් ගම්පහ කෙනෙක් කියලා කියනවා , අනිත් කෙනා කලුතර කෙනෙක් කියලා කියනවා. විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වන සියලු දෙනාට අවසානයේ සිදුවෙන්නේ දේශපාලනිකව සියදිවි නසා ගන්න. වරප්‍රසාද බලාපොරොත්තුවෙන් විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වෙන සියලු දෙනා දේශපාලන ගණිකාවන්. විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වෙන සියලු දෙනාට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව පැහැදිලි උත්තරයක් ලබාදෙයි.‘‘