සමීක්ෂණ වාර්තා අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින්නේ තුන්වැනි ස්ථානයේ බවත් තුන්වැනි ස්ථානයේ සිටින අපේක්ෂකයකු පළමු ස්ථානයට ගෙන ඒම පහසු කටයුත්තක් නොවන බවත් එම නිසා ජනාධිපති සටනට රනිල් වික්‍රමසිංහ මහතා තරඟකරාවිදැයි කියන ප්‍රශ්නය මතුවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක අබේසිංහ පවසයි.

අද (10) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක අබේසිංහ මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වී වසර 31 ක් ගත වී ඇති බවත් ජනාධිපතිවරයා අලියා ලකුණින් ඡන්ද 34 කට ඉදිරිපත් වී ජයගෙන ඇත්තේ ඡන්ද තුනක් බවත් රනිල් වික්‍රමසිංහ යනු පරාජයේ පියා බවත් ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජනබලවේගය ගොඩනැගු බවත් අසෝක අබේසිංහ එහිදී සඳහන් කර ඇත.

එහිදි අදහස් දැක් වූ මන්ත්‍රිවරයා,

“ජනාධිපතිවරයා තීන්දුවක් ගන්නේ සමීක්ෂණ වාර්තා පරීක්ෂා කරලා. මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව සමීක්ෂණය කරලා. ඒ අනුව දැනට රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ තුන්වැනි ස්ථානයේ. තුන්වැනි ස්ථානයේ සිටින අපේක්ෂකයකු පළමු ස්ථානයට ගෙන ඒම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරාවිද කියන ප්‍රශ්නය තිබෙනවා. “