අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියට අදාළය පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ ආයතනයේ හිමිකරු දුලාන් සංජුල මාධ්‍යට නිරාවරණය කරමින් සිදු කළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු දක්වා තිබෙනවා.

ඔහු අවධාරණය කරන්නේ සැකකරුවෙක් මාධ්‍යට මුදාහරිමින් පපොච්චාරණයක් ලබාගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති බවයි.

ඊයේ(10) කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවෙන් පසුව ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පලකළා.

“මෙම නඩුවේ පළවෙනි සැකකරු ටැටූ ආයතනයේ හිමිකරු දුලාන් පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේ මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයේ අවධානය යොමු කළා.”

“අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුවෙකුගේ ප්‍රකාශයක් ලබාගන්න විදිහ ගැන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කර තිබෙනවා. එවිට කිසිම සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මේ ආකාරයට සජීවිව හෝ පටිගත කර එම දර්ශන මාධ්‍යට මුදා හරින්න පොලිස්පතිට හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එහෙම බලයක් ලබාදීලා නැහැ. “

“එම නිසා මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථා වලට සහ විමර්ශන වලට මාධ්‍ය මැදිහත් වෙලා තිබෙනවා කියලා. එම නිසා පැමිණිල්ලට මෙන්ම විත්තියටත් මෙය සාධාරණය විය යුතුයි කියන එක තමයි අධිකරණයේ මතය වුණේ.”