දේශපාලනඥයන් ලෙස අපට වසර 05කට ජනතාව බලය දුන්නේ නම් එම කාලයෙන් පසු බල්ලා මාර්ක් ලේබල් වැදෙනකම් නොසිට ගෙදර යා යුතු බව අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (12 ) පවසා ඇත.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

යහපාලන රජය කාලයේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළත් එහි කරුණු 04ක් ජනමත විචාරණයකින් තොරව සම්මත කිරිමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම මත 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළ බවත් විජයදාස රාජපක්ෂ පවසා ඇත.

එහිදී අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ,

“අපි යහපාලන රජය කාලයේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. එහි කරුණු 04ක් ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. උදාහරණයක් විදිහට ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති ලෙස අපි කරපු යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ආණ්ඩුවේ ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා දෙන්නෙක් ඉන්න බෑ කියලා. රජයේ ප්‍රධානියා ජනාධිපති කියලා. ඒක සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.

අපි ඒ කරුණු හතර අතහැරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම මත තමයි 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ. ඒ වගේම ධුර කාලය ගැනත් තර්ක ඉදිරිපත් වුණා.එහිදී අධිකරණය පැහැදිලිවම කිව්වේ තිබෙන ධුර කාලය අඩු කරන්න නොවෙයි වසර 06, 07 ලෙස වැඩි කරනවා නම් තමයි ජනමත විචාරණයකට යන්න ඕනා කියලා. ධුර කාලය අඩු කරනවා කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වීමක් වෙන්නේ. ඒ නිසා අධිකරණය තීන්දුවක් දීලාත් තිබෙනවා කිසිම හේතුවකට ධුර කාලය වසර පහට වැඩියෙන් එක දවසක්වත් ජනපති ධුරය දරන්න බෑ කියලා. ඒක අනුප්‍රාප්තික ජනාධිපතිටත් අදාළයි. ජනාධිපතිගේ ධුර කාලය ගැන මීට පෙර තීන්දු 03කුත් ලබා දීලා තිබෙනවා. නමුත් දැන් මේ ධුර කාලය ගැන ප්‍රශ්නය අධිකරණයේදී විහිළුවකට ලක් කරන තත්ත්වයකුත් ඇති වෙලා තිබෙනවා.දැන් අදත් තව නඩුවක් ඉදිරිපත් වෙලා තිබෙනවා.

අපි දේශපාලනඥයෝ විදිහට අපට වසර 05කට නම් බලය දුන්නේ, අපි වසර 05කට වැඩියෙන් එක දවසක්වත් ඉන්නේ නෑ. බල්ලා මාර්ක් එකට ලේබල් වැදෙනකම් අපි ඉන්න ඕනේ නෑ, ජනතාව යම් කිසි කාලයකට බලය දුන්නා නම් බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනා.”